රංජන්ගේ හඬපට සමග සමස්ථ අධිකරණ පද්ධතියේ ගෞරවය පරිහානියට ලක්වෙලා – අමාත්‍ය ජොන්ස්ටන්

25

රංජන් රාමනායක හඬපට සිද්ධියත් සමඟ සමස්ථ අධිකරණ පද්ධතියේ ගෞරවය පරිහානියට හානියට ලක්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුලු විවිධ පිරිස් සිරගත කරන ලෙස විවිධ පාර්ශ්වයන්ට උපදෙස් දෙමින් සිදු කරන දුරකථන සංවාද හේතුවෙන් නීතිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මෙන්ම අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි අද (25) මහනුවරදී පැවැති විවෘත කිරීම් සහ නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ  අවස්ථාවට සහභාගී වෙමින් මහාමාර්ග අමාත්‍යවරයා මේ බව කීවේය.

මේ දිනවල පැතිර යන හඩ පට සිදුකර තිබෙන්නේ විකෘති මනසකින් යුතුව එක්සත් ජාතික පක්ෂය දේශපාලන මන්ත්‍රීවරුන් විසින්. වසර පහක් තිස්සේ ඔවුන් සිදු කළේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවෙයි.

මහා පරිමාණ මහබැංකු බැඳුම්කර වංචාව සිදු කළ බැංකු හොරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. අපි ඉන්නේ රට හැදිය යුතු මතයෙයි. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අප කටයුතු කරනවා. 

බැඳුම්කර වෝහාරික වාර්තාව පිළිබඳව මම දන්නේ නැහැ. මම ඒ වාර්තාව දැක්කෙත් නැහැ. ඒවා මාධ්‍යයට ලැබුනේ කොහොමද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මේ රටේ මහජනතාවගේ හදවත බදු මහ බැංකුව සොරා කෑවේ එක්සත් ජාතික පක්ෂයයි.

රටේ ආර්ථිකය රට සංස්කෘතිය විනාශ කළ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් අද වන විට මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටලුවක් යෙදෙනවා යැයි පවසමින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.