රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චිය , ධර්මපුරම් ,කට්ටකාඩු ප්‍රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්‍ර යොදා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ,හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 21 දෙනකු අද (09) අලුයම සැකපිට අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවටගත් යුද හමුදා කර්නල්වරයා සහ සෙබලුන් දෙදෙනා රත්තරං සොයා පරීක්ෂාකරමින් සිටි පිරිසකට ආරක්ෂාව ලබාදෙමින් කැණීම් සිදුකිරීමට හවුල් වී ඇති බවද පැවසීය.

සැකකාර කර්නල්වරයා හා යුද හමුදා සෙබලුන් දෙදෙනා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් සාමාජිකයින් වන බවත් කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරීකොට ස්ථානමාරුවීම් ලැබූ අයකු බවද සඳහන් කළේය.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා ඇති රත්‍රං තොගයක් සොයා කැණීම් කරන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරක් මත යුද හමුදාව හා එක්ව සිදුකළ වැටලීමකදී කර්නල්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන තිබේ.

එහිදී සැකකාර කර්නල්වරයා පැමිණි යුහ (2551) ධරන නිල රථය ඇතුළු සුඛෝපභෝගී ජිප්රථයක් ,කැබ්රථයක් හා වෑන් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකාර කර්නල්වරයා අදාල ස්ථානයේ පිරිස වෙත ආරක්ෂාව සපයා ඇති අතර විදේශ රටකින් ගෙන්වන ලද අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් යොදාගනිමින් සැකකරුවන් පිරිස රත්තරං සොයා ඇති බවද පැවසීය.

අදාල ස්ථානයේ තිබී සැකකරුවන් රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ කිහිපයක්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පැවසූයේ අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් දෙදෙනකු හිටපු හමුදා සාමාජිකයින් බවත් ඔවුන් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයින් වන බවයි.

සැකකරුවන් පිරිස අතරින් 13 දෙනකු අනුරාධපුර හා විවිද ප්‍රදේශයන් හි පදිංචි පුද්ගලයින් වන අතර තවත් තිදෙනකු කිලිනොච්චිය ,පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ධර්මපුරම් පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය හා කිලිනොච්චිය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති. 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.