ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය මැද දිල්ලි නුවර දහයක් මරුට…

ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.

ඉහත කී ගැටුම් හට ගත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය අතරතුරදීය.

දශක ගණනාවක් තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවරින් මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

පෙනෙන්නට ඇති පරිදි ඉරිදා පළමු වරට ගැටුම් හට ගෙන තිබුණේ නව නීතියට පක්ෂ සහ ඊට එරෙහි උද්ඝෝෂකයන් අතරය.

අනතුරුව ඊට ආගමික මුහුණුවරක් එක් වී ඇති අතර හින්දු සහ මුස්ලිම් කලහකාරීන් අතර ගැටුම් හටගත්තේය.

ගැටුම් පවතින්නේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් අතර සාකච්ඡා පැවති අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 11 ක් පමණ ඊසාන දිගින් පිහිටි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවලය.

ඉන්දියාවේ පුරවැසි සංශෝධන පනත මුස්ලිම් විරෝධී පියවරක් ලෙස විවේචකයෝ හඳුන්වති. පසුගිය වසරේදී එම පනත සම්මත කරගනු ලැබීමෙන් පසු විශාල වශයෙන් උද්ඝෝෂණ ආරම්භ විය. ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනිණි. නමුත් දිල්ලි අගනුවර පැවති විරෝධතා මේ දක්වාම සාමකාමී මුහුණුවරක් ගෙන තිබිණි.

මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසීමේ දී එය මගහරිමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට ද “කණ වැකුණු” බවය. “එම සිදුවීම” ඉන්දියාවට අවශ්‍ය පරිදි පාලනය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්දියාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ තමන් අවධානයට ලක් කළ බවත් ඊට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල සංචාරය මේ වන විට හට ගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යටපත් වී ඇති අතර ඒ හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.