මේ‘ ආණ්ඩුව MCC ගිවිසුමේ වාක්‍ය එකක් දෙකක් එහාට මෙහාට කරලා, එහෙයි ස්වාමීනි කියලා අත්සන් කරනවා

ඉන්දියාවට ගිහින් කියනවා ණය ගෙවන්න බැහැ විරාමයක් දෙන්න කියල

ජයලත් දිසානායක – බදුල්ල

 

ජනාධිපතිවරණයේදී බොහෝ කල් වේලා ගත වී තමන්ට අපේක්‍ෂකත්වය ලැබීම තුළින් මැතිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් සිදු වූ බවත් ඒ හේතුවෙන් තමන්ට පරාජිත පැත්තට යොමු වන්නට සිදු වූ බැවින් තවදුරටත් කකුලෙන් අදින ප්‍රතිපත්ති තුළ සිර වී සිට පාක්‍ෂිකයින් අනාත කල නොහැකි බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පසුගියදා බදුල්ල තැපල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවැති බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ ආසන බළ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් විපක්‍ෂනායක වරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.
ජනාධිපතිවරණයේදී ශක්තිය ලබාදුන් සෑම සියලු දෙනාටම ස්තුති කරන්න රැස්වීම් විශාල ප්‍රමාණයක් සංවිධානය කරගෙන තිබුනත් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා නිසා ඒ සියල්ල කල්දාන්න සිදු වුණා අදවන විට අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ අලුත් බලවේගයක් නිර්මාණය කරල තියෙනවා. ඒ බලවේගයේ ප්‍රධාන නියෝජිතයා ලෙසත්, සන්ධානයේ නායකයා හැටියටත් අගමැති අපේක්‍ෂකයා හැටියටත් නාමයෝජනා මණ්ඩලයේ සභාපතිවරයා හැටියටත් සජිත් ප්‍රේමදාසව නම්කරා. මට ඒ වගකීම භාර දුන්නෙ මම ඉල්ලීමක් කරල නෙමෙයි. පක්‍ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය තීරණය කරලයි.
දැන් සමගි බලවේගය කියන්නෙ ලියාපදිංචි පක්‍ෂ දේශපාලන සංධානයක්. දැන් අපේ රටේ ජව සම්පන්නම දේශපාලන බලවේගය සමගි ජන බලවේගය.
දැන් කල් මර මර ඉන්න බැහැ. කකුලෙන් අදින ක්‍රමවේද තුළ අපිට හිර වෙලා ඉන්න බැහැ. තාවකාලික එකමුතුවක් නෙවෙයි මේක. අනිවාර්යෙන්ම මහ මැතිවරණයේදී ජයග්‍රහණයක් කරා යන එක යනවාමයි.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ අගමැති කම මට 71 වතාවක් ලබාදෙන්නට යෝජනා කලා. 71 වතාවක් අගමැති කම ප්‍රතික්‍ෂ්ප කරපු පුද්ගලයෙකුයි සමගි ජන බල වේගයේ නායකත්වයට ප්‍රවේශ වෙලා තියෙන්නේ.
දැන් බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිපුර ආසනයකුත් ඇවිත් තියෙනවා. ඒ ආසනයත් අපි ගන්න ඕන.

අලුත් ආණ්ඩුවක් පිහිටුවල දින සියයක් පසු කරන මේ මොහොතේ වර්ථමාන අගමැති එදා විපක්‍ෂනායක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා වේදිකාවෙ පාවිච්චි කල වචන ටික උපුටා ගනිමින් අහන්න කැමැතියි දැන් අත්තටම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සනීපද කියල. සැපද සනීපද සතුටුද සන්තෝෂද කියන වචන එදා ජනාධිපති වරණ වේදිකාවක් වේදිකාවක් පාසා රැව් පිළිරැව් දුන්නා. එදා අපේ රජය ඉතාමත්ම අමාරුවෙන් බඩු මිල සාධාරණ තත්ත්වයක රදවා ගන්න කටයුතු කලා. ජනතාවට උහුල ගන්න පුලුවන් ආකාරයට ඒ භාණ්ඩ ලබාදෙන්න කටයුතු කලා. දින සියය ආපු හැටියෙ තෙල් මිල අඩු කරත් අද ලෝක වෙළදපොලේ තෙල් මිල විශාල ප්‍රමාණයකට අඩු වෙලා තියෙන මොහොතක වෙනස උදෙසා ශක්තිය ලබාදුන් ජනතාවට ඒ තෙල් මිල අඩුවීමේ සහනය ලබාදෙන්නෙ නැහැ.
ගර්භනී මවුවරුන්ට ලබාදුන්නු පෝෂණ සලාකය අද කපා හැරල. නිළ ඇදුම් වවුචරයේ වටිනාකම අද අඩු කරල. දේශපාලන දඩයම පැය විසි හතර තුළම ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පළිගැනීම් එමටයි. අපි ජයග්‍රහණයෙන් පසු පළමුවැනියටම කරන්නෙ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සෑම සියලු දෙනාටම චක්‍රලේඛණ නොබලා සහන සලසන එක.
වතු කම්කරු ප්‍රජාවට රුපියල් එක්දහස් පන්සියයක ආදායමක් ලබා ගන්න පුලුවන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියල අපි එදා මතක් කරා. අපේ විරුද්ධවාදීන් දවසකට දහසක දීමනාවත් ලබා දෙනවා කියල කිව්වා. අපේ දින සියයයේ වැඩ සටහන තුළ රාජ්‍ය සේකවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කරා. සමෘද්ධි සහනාධාරය සියයට දෙසියකින් වැඩි කරා. ඒ සදහා අපිට හැකියාව තිබුණා. එහෙමනන් කෝ මේ වතු කම්කරුවන්ට ලබා දෙනව කිව්ව රුපියල් දහසේ දීමනාව. දැන් මෙයාල දාහ දෙනව කියල දැනටත් වතු කම්කරුවන්ට ගෙවන දිරි දීමනාව අලුතින් පොඩි පොඩි වචන ටිකක් දාල අලුත් භාණ්ඩයක් හැටියට වතු කම්කරු ප්‍රජාවට ඉදිරිපත් කිරීමේ මහා ජාතික ප්‍රෝඩාවක් කරන්න ලෑස්ති වෙනවා. මම හිතනවා මේ පාර වතු ජනතාව ඒ රැවැටිල්ලට අහු වෙන්නෙ නැහැ කියල.
අපි වතු කම්කරුවන්ට නිෂ්පාදන දිරි දීමනාවක් නෙමෙයි අපේ රජයක් තුළ රුපියල් එක් දහස් පන්සියයේ මූලික දීමනාවක් අපි ලබා දෙනවා. අපි වර්ථමාන ආණ්ඩුවට කියනවා ජනතාවට පොරොන්දු වූ දෙය ඉටු කරන්න කියල. හරියට රජයේ නිළධාරීන්ගේ වැටුප ගෙවා ගන්න බැරි වෙලා තියෙනකොට කොහොමද දාහ දෙන්නෙ. අද හැම තැනම තියෙන්නෙ බොරුව, ප්‍රෝඩාව, රැවැටිල්ල.
කෝ නොමිලේ දෙනව කිව්ව පොහොර. තේ වගාවටත් දෙනව කිව්වා.පොල් රබර් වලට වී ගොවියට දෙනව කිව්ව. එළවඵ පලතුරු ගොවියට දෙනව කිව්වා. මම අද අහන්නෙ සැපද කියල නෙමෙයි. පොහොර කෝ කියල. කියන්න ලැජ්ජයි අද මුදලටවත් ගන්න පොහොර නැහැ. හැම තැනකම දිත්ව රංගනයක් තියෙන්නෙ.
පහුගිය දවසක අපේ මුදල් ඇමැතිතුමා ඉන්දියාවට ගිහින් කියනවා අපිට ණය ගෙවන්න බැහැ අපිට ණය ගෙවන්න බැරි නිසා අවුරුදු තුනක ණය නිවාඩුවක් ඕන කියල. ඉන්දියාවට ගිහින් කියනවා ණය ගෙවන්න බැහැ විරාමයක් දෙන්න කියල. රටේ පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා අපිට බිලියන දෙසිය දොලහක් ණය ඕනයි කියල. මේකට කියන්නෙ දිත්ව දේශපාලන රගපෑම කියල.
ජනාධිපතිවරනයේදී රංගන ගණනාවක් ක්‍රියාත්මක කලා. එම්.සි.සි. රංගනය ඉන් එකක්. රට කෑලි කෑලි වලට කැඩෙනවයි කිව්වා. රට පාවා දෙනවයි කිව්වා. මොකද වුණේ එයාල දිනපු ගමන්ම ඒකෙ හැත්තෑවක් හොදයි තිහක් විතරයි හොද නැත්තෙ කිව්වා. වගකිව යුතු විපක්‍ෂයක් හැටියට මේ බොරුව අපි හෙලිදරව් කරා. දැන් ඊයෙ පෙරේදා කියනවා එම්.සි.සි. ගිවිසුම කැබිනට් මණ්ඩලය ප්‍රතික්‍ෂ්ප කරා කියල. එළියට පෙන්වනවා ප්‍රතික්‍ෂ්ප කරයි කියන ප්‍රකාශය. නමුත් එයාලා උත්සහ කරනවා වාඛ්‍ය එකක් දෙකක් එහාට මෙහාට කරල ඇමැරිකා එක්සත් ජනපදයට එහෙයි ස්වාමිනි කියල එම්.සි.සි. ගිවිසුම අත්සන් කරන්න..

.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.